Follow by Email

Friday, April 21, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2

රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම


"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"

කියල අහනව.

"ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"

මං උත්තර දෙනව.


"කීයටද් තියෙන්නෙ ක්හ්ං"


"දැම්පටං ඇරං ඇති"


තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව.


"ටික්"


ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං අනික් කොනට යනකං ලොකු රෝදෙ කීප සැරයක්ම කරකැව්වට මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ ගමන රේඩිවේක බැනුං අහනව.


"මේ බඩකැවුත්ත ඒගාන අහුවෙන්නෑ."


තාත්තා ඒකට වෙදකං කරන්න පටං ගන්නව. මේකට පළවෙනියටම කරන්නෙ ගොඩ වෙදකං. අත්බෙහෙත් හැටියට ඒරියල්ලෙක පුළුවං තරං උසට දිගාරිනව. ඊළඟට ඒරියල් එකට ගෙදර තියෙන තරමක් කම්බි හොයල අමුණල එක කොනක් ජනේලෙං එලියට දානව. නැත්තං පුවක් කපන පිහියෙ මුවහත පැත්ත ඒරියල්ලෙකට ගාවනව. නැත්තං රේඩිවේක එක එක අතට හරෝල බලනව. මුනිං අතට තියනව. රේඩිවේක වටේ එක එක තැංවලට තට්ටු කරනව. ඇල කරනව. ඒත් මේ කිසිම අත්බෙහෙතකිං මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ හිංද තාත්තා බටහිර වෙදකමට යොමුවෙනව.


"මේ ඕයි"


තාත්තා අම්මට කතා කරනව.


"ඕ"


"අර කෙල්ලගෙ ඕඩිකොලොං බෝතලේ දෙනොව මෙහෙ"


අම්මා නංගිගෙ ඕඩිකොලොං බෝතලේ තාත්තට දෙනව. තාත්ත රේඩිවේක මේසෙ උඩ උඩුබැලි අතට හරෝල තියල විට වට්ටියෙ තියෙන පිහිය ඇරං ලයින් කඩන පොඩි රවුමයි, අඬ අඩුවැඩි කරන රවුමයි දෙකම යටිං පිහිය තලේ දාලා උස්සලා ඒ රවුං දෙකම ගලෝනව. ඒ රවුං දෙක උඩ පැනල මේසෙ දිගේ රෝල් වෙනව. මං ඒ දෙක අල්ල ගන්නව. ඊළඟට ඒ රවුං දෙක ගලෝපු තැන යටිං තියෙන කූරු දෙක දිගේ හොඳට යටට බහින්න ඕඩිකොලොං දානව. දාල පිඹිනව. ආයිමත් රවුං දෙක හයිකරනව. ඉං පස්සෙ ඒ දෙකම හත් අට පාරක් දෙපැත්තට කරකෝනව.

"ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ්"

"යාහුප් බාහුප් කාඋප් යඋප් හෙප් හොප්"

එතකොට රේඩිවේකත් තමුංගෙ රවුං කරකැවෙන හැටියට බහුබූත කියනව. ඉං පස්සෙ තාත්තා රේඩිවේක මුනිං අතට තියලා රේඩිවේකෙ පස්ස පැත්තෙ පියන අරිනව. බැට්ටි බටෙත් ගලෝනව. එතකොට රේඩිවේක අස්සෙ පදිංචි වෙලා ඉන්න කැරපොත්තො එහෙමෙහෙ දුවනව. තාත්තා ගුරුලේත්තුවෙ තියෙන දුංකල ගුලිය ලිහල දුංකල නැටි කෑල්ලක් අරං ඒකෙං කැරපොත්තංව එළියට ඇදල දානව. ඉං පස්සෙ සේවා අල්ලන රවුමෙ යටි පැත්ත කියල හිතෙන තැනටයි තවත් කොහෙද අහුමුළු දෙක තුනකටයි ඕඩිකොලොං දාල පිඹිනව. ආපහු බැට්ටි බටේ හයිකරල රේඩිවේක නැගිට්ටෝල අරගෙන අතට අහුවෙන ලොකු පොඩි රවුං සේරම හත් අට වතාවක් දෙපැත්තට කරකැව්වට පස්සෙ ඒ වෙදකමත් ඉවර වෙනව. සමහර දවස්වලට ඒ වෙදකමත් හරියන්නෙ නැතුවහම තාත්තා බොහොම දරුණු තීරණයක් අරගෙන


"මේකෙ රවුං මලකඩ අල්ලල."


කියලා ඕඩිකොලොං වෙනුවට කුප්පි ලාම්පුවෙ තියෙන ලාම්පුතෙල් ටිකක් රේඩිවේකෙ ඒ තැංවලට දානව.


ඔය සේරම කරලා යංතං සේවෙ අල්ලගෙන බලනකොට නාට්ටියෙ අන්තිම කොටහ. නැත්තං නාට්ටිය ඉවර වෙලා අන්තිමට නිවේදකය 


"ලබන සතියේත් මේ වේලාවටම ඒ බවර් සහ සමාගම ඔබ වෙතට ගෙන එයි... ටනනං ටනනං ටනනං ටනනං ටට්ටා ආාාාා .... මුවංං   පැලැස්ස...."


කියල කියනව. ආං එතකොට අපේ තාත්තට යකා වැහෙනව.


"ඉඳකිං රේද්ද... මේ කැවුතුකැටිය"


කියලා රේඩිවේක බිම දාලා ඇඳයට්ට විසිවෙන්න පයිං එකක් ගහනව. ඒ වෙලාවට බැට්ටි බටේ පැන්නොත් රේඩිවේකෙ සද්දෙ නවතිනව. එහෙම නැත්තං රේඩිවේක තාත්තට ඔලොක්කුවට වගේ ඇඳයට ඉඳං දෙමළ සිංදුවක් කියනව.


"ඩඟර පටං ඩඟර පටං..ටං ටං ටං ටටං ටටං. ආඩාාා....... අඩේ ...... පූඩා....."


ඒ වෙලාවට මං කොස්ස ඇඳ යට්ට දාලා රේඩිවේක ඇදල අරං ඒකෙ සද්දෙ වහනව.


මුවම්පැලැස්ස ඇරුණම ආයිත් තිවුනෙ "රහස් පරීක්ෂක නාට්ටිය" කියල එකක්. කඩිගුලක් උඩ ඉඳගත්ත කෙනෙක් උඩ පැනල පස්ස බදාගෙන කෑ ගහනව වගේ බොහොම බයානක සද්දයක් ඒ නාට්ටියෙ මැද හරියෙ දාන හිංදා මං ඒක අහන්න බයයි. ඒකෙ තියෙන්නෙත් බය හිතෙන කතා. ඒ බය හිතෙන දේවල් සේරම අහං ඉඳල මං රෑට දොට්ට යන්නෙ ඇස් දිස්ටි මානෙ තියෙන හැම ගහක් කොලකටම ටෝච්චෙක අල්ලල ඒ කොයියම්ම එහෙකවත් හොල්මනක්වත් ඇටරැකිල්ලක්වත් ලේ පෙරාගත්ත ගෑනියෙක්වත් නෑ කියල සහ සුද්දෙම්ම දැනගෙන. ඒත් අමතර ආරස්සාවට අම්මත් මගෙ පිටිපස්සෙම්ම ඉන්න ඕනි. 


මේ රේඩිවේක කියන භාණ්ඩෙ වැඩකරන විදිහ ගැන විජය පත්තරේ ලිපියක් කියෙව්වට පස්සෙ මට අපේ රේඩිවේක වැඩිදියුණු කරන්න ඕනි වෙනවා. ඒ හංදා එහෙං මෙහෙං හොයාගත්තු තඹ කම්බි, යකඩ කූරු එක්කහු කරලා පොල්කට්ටක් විතර ලොකු මකුළු දැලක් වගේ අරුම පුදුම ඇන්ටනාවක් මං හදාගන්නව. ඊළඟට බැට්ටි වෑර් කෑල්ලක් හොයාගෙන ඒක පලල ඒක අස්සෙ තියෙන කම්බි ටික අරගෙන එකිං එකට කොනිං කොන තියල අඹරලා දිග කම්බියකුත් හදාගන්නව. අන්තිමට ලාඩප්ප කෝට්ටක අමුණපු ඇන්ටනාව මිදුලෙ හිටෝල ඒකෙං ඇදගෙන ආපු කම්බිය ඒරියල් එකට ඇමුණුවහම SW පැත්තෙ වෙනදටත් වඩා සේවා අහුවෙනව. ඒ සේවාවල සමහර බාසාවල් මං ජීවිතේට අහලත් නෑ. එයිං එක සේවයක් මෝටරයක් කැරකෙන සද්දෙං මුළු දවසම "ට්ර්ර්ර්ර්රර්" කියනව. තව එක සේවෙක මිනිහෙක් සැරිං සැරේ


"පප්පා................ චාලී........................ඉස්සා................ ටැංගෝ"


කියනව. තව එක සේවයක් දවස පුරාම


"කීකීක් කීක් කීක් කීකීක් කීක් කීකීක් කීකීක් කීක්"


කියනව. ඒව පිටසක්වල රේඩියෝ සේවා කියල මට හිතෙනව. මේ ඔක්කොම ගෙදර කවුරුවත් නැති දවස්වල දවල්ට විතරයි. අනික් වෙලාවට මගෙ ඇන්ටනාව අටුවෙ හංගල තියෙන්නෙ මගෙ පර්යේසන ගැන දැනගත්තොත් තාත්තා මගෙ "ඇස් දෙකේ ඉඳං පට්ට ගහන" හිංදයි.


ඔය විදිහට මගෙ පර්යේසන වලිං "සමස්ත ඉංදීය ගුවංවිදුලිය" කියල එකක් හොයාගන්න මට පුළුවං වෙනව. දවාලක ඒ සේවෙ අහපු වෙලාවක ආපහු සේවෙ වෙනස් කරන්න බැරිවෙලා රෑට අපේ තාත්තා රේඩිවේක දාපු ගමං සමස්ත ඉංදීය ගුවන්විදුලිය සිංහලෙං ප්‍රවුත්ති කියන්න පටං ගන්නව. එදා ඉඳං හැමදාම අපේ තාත්තා රෑට ප්‍රවුත්ති අහන්නෙ ඒකෙං. සමහර දවස්වල හවසට කඩේ ගාව කයිවාරු ගහන අය


"මන්නං පවුත්ති අහන්නෙ වෙරිටාස්සෙකෙං. ඒකෙං කියනව හරියටම ඇත්ත විස්තරේ"


කියද්දි අපේ තාත්තා ඒ පම්පෝරියට දමා ගහන්නෙ සමස්ත ඉන්දීය ගුවංවිදුලියෙං.


"එයිට වඩා ඇත්ත කියනව හැබැයි අර සමස්ත ඉංදියා ගුවංවිදිලියෙං. හරියට හතකුග් ගාන්ට පටං ගන්නෙ. බලාහිටිය වගේ කියනොව. හොඳට අඬ තියෙන සේවෙයක්. මීටරේ මැද හරියකට අහුවෙන්නෙත්."


ඔය අතරෙ තමයි "ශ්‍රී ලංකා බුවංවිදුලිස් සංස්තාවේ වෙළඳස් සේවයයි" කියන සේවෙ තමුංගෙ පැටි පැටවු රෑනත් එක්ක FM පැත්තට පනින්නෙ. FM නැති අපේ රේඩියෝ වලට ඒ පැනිල්ල නොදැනුනාට ඒ පැනිල්ලත් එක්ක ජීවිතේට අහපු නැති අලුත් සිංදු රේඩිවේකෙං ඇහෙන්න ගන්නව. කැසට් තියෙන ගෙවල්වල අය නං


"දැන්නං වෙළඳ සේවෙ පැහැදිලියි කියන්නෙ මේ ළඟ ඉඳං කතා කොන්නොව වගේ"


 කියල කියනව. ඒව අහං ඉන්න අපේ ගමේ අනික් අයත් පුළුවං හැටියෙං තමුන්ටම කියල කැසට්ටෙකක් ගන්නව. ගෙදර තියෙන පරණ රේඩියෙක අල්මාරියට දානව. නැත්තං අටුවට විසික් කරනව. ඒ රැල්ලට අහුවෙන අපේ නැංදත් මාසෙයක් දළු කඩාපු සල්ලි එක්කහු කරල ඉතුරු ටික මාසෙයක් ගානෙ ගෙවන පොරොන්දුව පිට තනි පිකරේ කැසට්ටෙකක් ගේනව.



අලුත් කැසට්ටෙක ගෙදර ගේන ගමං අපේ මිදුලෙං පාතට බහින නැංදා ගල්වැටිය උඩ නතරවෙලා කැසට්ටෙකේ පෙට්ටියෙ පිටිං ඇඳපු රූපෙ විතරක් අපිට පෙන්නනව.


"මේං මේ ජාතියෙ සූපේ තියෙන ජාතියෙ එකක් ගෙනාවෙ."


"ඕක එලියට ඇරං පෙන්නන්නකො නැංදෙ අපිටත්"


නංගියි මායි කියනව.


" බෑ බෑ බෑ බෑ. මෙතෙන්නං එළියට ගන්න බෑ. ගෙදර ගිහිං තමා එලියට ගන්නෙ. ඕන්නං තව ටිහිකිං එන්න බලන්න ඕන්නැං."


එයිං පැය බාගෙකට විතර පස්සෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙං මහා හයියෙං ඇහෙන මහ පිරිත අපේ කං අස්සට රිංගනව. මං නැංදලගෙ ගෙවල් පැත්තට අඩිය උස්සනකොටම අපෙ අම්මා මට බයිනව.


"තෝ යන්නෙපා උංගෙ ලොක්කං බලන්න. ගියොත් අඬු කඩ්නොව දැනගං."


අම්ම ඉලපත අතට ගනිද්දි මං නවතිනව. රෑ වෙලා ගෙදර එන තාත්තත්


"මොකද්ද අර මැණිකලෑ ගෙවල් දිහාවෙං මහ හයියෙං එකාකාරෝම බලියනව ඇහෙන්නෙ ඕයි"


කියල අම්මගෙං අහනව. ඒ නැංදලෑ ගෙදෙට්ට ගෙනාපු අලුත් කැසට්ටෙක බවත්, ඒක හැංදෑවෙ ඉඳංම ඔය විදිහට බලියන බවත් අපේ මිදුලෙදි ඒක දිගෑරල පෙන්නුවෙ නැති බවත් ඕන්නැං බලන්න එහෙට එන්න කියපු බවත් මං කියනව. මට උංගෙ ලොකුකං බලන්න යන්න නොදීපු බව අම්ම කියනව. ඒ සේරම අහගෙන ඉන්න තාත්තා ඒ ගැන අනාවැකියක් කියනව.


"ඔය කොයික ගෙනාවත් වැඩහ්නෑ. පීසේන මල්ලි ඕකටත් වැඩිකල් නොගිහිං මකබාස් වැඩේ කොරයි."


එදා ඉඳං හැමදාම මහ පාන්දර දෙකට තුනට නැන්දලගෙ ගෙදර කැසට්ටෙක මහ සද්දෙට පිරිත් කියද්දි අපිව උඩ විසිවෙලා ඇහැරෙනව. බිංදුවා ටකරමත් පෙරලගෙන පෝර කවරෙත් පටලවගෙන මිදුලට පනිනව. ඒ සද්දෙට කලබල වෙලා වත්තෙ කුකුලොත් ඇහැරිලා නිදිමතේ අඬලනව. රේඩිවේකෙ උදෑසන දම්ම චිංතාව කියන  සද්දෙට අපේ ගෙදර කුස්සියෙ වලං මුට්ටිත් හෙල්ලෙනව. පාන්දර දේශාභිමානී ගීත ඇහෙද්දි අපේ තාත්තා එඩිතරව නැගී හිටිනව.


"අම්ප මේකි මේ කෙහෙම්මලක් ගෙනැත් බලියෝන හැටි. කිසියම්ම කිසි මිනිහෙට්ට නිංගක් ඇහැ පියවන්න නෑනෙව."


උදේට ඉර පායලා, පාංකාරයත් ඇවිල්ලා, ළමයි ඉස්කෝලෙත් ගිහිල්ලා, අනික් ගෙවල්වල අයත් වැඩට යද්දි නැංදයි, මාමයි දෙන්නත් වැඩට යනකොට කැසට්ටෙකත් කට වහගෙන තමුංගෙ දෑවැද්දට හම්බුවෙච්ච පෙට්ටිය ඇතුළට රිංගල නිදාගන්නව. ආයිමත් හවසට ඒ දෙන්නා ගෙදර ආපු ගමං කැසට්ටෙක එලියට ඇවිල්ලා ගමටම සිංදු අස්සවන්න පටං ගන්නව. ඒ සද්දෙට මූන දෙන්න බැරුව අනික් ගෙවල්වල රේඩියෝ සේරම කට පියාගෙන ඉන්නව. අපි නිදාගනිද්දිත් රෑ නමේ ප්‍රවුත්ති ප්‍රකාශය නැන්දලගෙ ගෙදර ඉඳං කන්ද නැගගෙන ඇහිල්ලා අපේ ගෙදර දොරෙං රිංගලා අපේ කං වලට අනිනව.


මේ විදිහට ගමටම රේඩියෝ අස්සවන එකේ ආනිසංස හැටියට නැන්දගෙ නමට තියෙන කඩේ ණය පොතේ දවස් තුන හතරකට සැරයක් බැට්ටි කෑලි හතර ගානෙ ලියවෙනව.





බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.

72 comments:

  1. man eka hukezzzz

    ReplyDelete
    Replies
    1. කලකට සැරයක් අරුම පුදුම දේ සිද්ද වෙනවනෙ.

      Delete
  2. සංඛ්‍යාත මූර්ජනයයි විස්තාර මූර්ජනයයි :) ඒ දවස්වල වත්ත මායිමෙන් යන කිසිම තරංගයකට යහතින් යන්න දුන්නෑ :D

    ReplyDelete
    Replies
    1. ගමේ තරංගල කී දෙනෙක් විතර හිටියද?

      Delete
    2. ඔය රේඩියෝ තරංගවල ශක්තිය අරගෙන එල්ලීඩී බලුප් එකක් දල්වන ක්‍රමයක් තියෙනවලු නේද? ඒක වෙන්නැති මේ කියන්නෙ.

      Delete
  3. උබේ සද්ද පුජාව ට තමයි මමනම් ගොඩක් කැමති. උබේ තාත්ත රේඩියෝ එකට දොස්තර වැඩේ කළා වගේම අපේ ගෙදරට ගේන ගේන රේඩියෝ එකට දොස්තරකම් කොරල හැම එකම නැතිබන්ගස්කාරම කරල දැම්ම. ප්‍රශ්නෙ කියන්නෙ රේඩියෝ එක ගලවල ආයෙත් හරියටම හරිගැස්සුවත් හැමදාම කෑලි දෙක තුනක් ඉතුරු වෙනවම තමයි 😳


    ඔය වගේම මම පොඩි කාලෙ රෙස්ලින් බලන්න E-TV සිග්නල් අල්ලන්නත් ඉන්දියන් MTV එකේ ඉංගිරිසි සිංදු බලන්න TNL සිග්නල් අල්ලන්නත් පුදුම කට්ටක් කෑව.

    නියමයි බං මේ පොස්ට් එක 👍🏽👍🏽👍🏽👍🏽👍🏽

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ වැඩ වලට පුදුම උණක් තියෙන්නෙ. කොච්චර තදට උණ තිබ්බද කියනවනං තිස්පන්දාහක් විතර වටින සෙටප් එහෙකටත් ගේම දුන්න කාලෙකට කලින්.

      TNL බලන්නනං අඩි අ‍ටක් විතර දිග ඩයපෝල් එකක් තියෙන ඇන්ටෙනාවක් පොලවට ලම්බකව හිටින්න හයිකරන්න ඕන කියල තමයි ඒ කාලෙ තිබ්බ‍ෙ. VHF-L

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රසන්නයෝ මේ VHF-L නම මතක් කලාට හොඳේ..

      ඒ දවස්වල සිරස නොහොත් එම් ටී වී බලන්න UHF අන්ටනාවකුත් ඕන උනානේ. v ඇන්ටෙනා කියයි මල්ටි චැනල් ඇන්ටෙනා කියයි. හයියෝ තිබ්බ නන්දන වින්දන බං 🙈🙈😂😂

      Delete
    3. අපේ ගමටත් හොඳටම අහුවුනේ ටී එන්නෙල් තමා. අඩි හයේ ඇලමේනියං කූරු දෙක හරි ඇලමේනියං පීලි දෙක හරි V හැඩේට අමුණල ගත්තහම බූස්ටර් ඕන්නෑ. ඔය ටීඑන්නෙල් එකේ හවසට යන MTV එකේ ඉංග්‍රීසි සිංදු ගොඩක් වෙලාවට අපිත් බැලුව තනියම.

      මම නං රස්සාවට ආවට පස්සෙ රේඩියෝ ටීවී කඩාදාන පාටමාලාවක් හැදෑරුවනෙ.

      Delete
    4. රේඩියො පැත්තකට දාමුකො.බොලා තාම රෙස්සිං බලනවද??

      Delete
  4. පොඩිකාලේ ගෙදර තිබ්බ අඩි තුනක් විතර දිග අඩි එකාමාරක් පළල වෑල් රේඩියෝව මතක්වුනා. (ට‍්‍රාන්සිස්ටර් රේඩියෝ එන්න ඉස්සර තිබුනේ වෑල් රේඩියෝ)

    ReplyDelete
    Replies
    1. ඔය වෑල් රත්වෙනකං රේඩිවේකෙ සද්දෙ එන්නැති කතාවක් කවුදෝ කියනව මං අහගෙන. තවමත් වෑල්වලින් වැඩකරන ඇම්ප්
      විනෝදෙට හදනව ඉලෙක්ට්‍රොනික් කරන අය.

      Delete
    2. දැන් තාක්ෂණය කොච්චර දියුණු උනත් ගුවන්විදුලි විකාශනාගාරවල අන්තිම වර්ධක අදියර තාමත් කරන්නෙ වෑල් වලින් වැඩකරනේවයින් කියලයි මම අහල තියෙන්නෙ.

      Delete
  5. යකෝ බෙලයි තාත්ත රේඩිවේකට සලකල තියෙන හැටියට ඒක තව දුරටත් වැඩ කරනවනං ලොකු ගානකට ආපහු කොම්පැනියටම විකුණන්න තිබ්බ. උංට එ‍කකොට ඇඩ් එකකට දැම්මැකි 'ගලේ ගැහුවත්, පොළේ ගැහුවත් ඇඳ යටත් වැඩ කරන එකම රේඩිවේක' කියල.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මයි මමයි ඇරුණම අපේ තාත්තෑං වැඩියම ගුටි කෑවෙ රේඩිවේක තමයි.

      Delete
  6. හොඳ වෙලාවට බොලාලගෙ රේඩිවේක ඇතුලට කසිප්පු වැක්කෙරුවෙ නැත්තෙ. එහෙම කළානං නැන්දගෙ රෙඩිවේකේ සද්දෙ කැලේ යන්න හදාගන්න තිබ්බ. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකෙ සද්දෙ වහගන්න වෙන්නෑ අපිට.

      Delete
  7. ඔය බැට්රි කෑලි තියෙන බටේ ගැලවෙන සීන් එක මටත් මතකයි අපේ රේඩියෙකේ.. බ්ලොග් වසන්තේ චන්ද පොස්ටර් ගහන්නම වෙයි දැන්නම්..

    ReplyDelete
    Replies
    1. හෙටානිද්දට ගහමු පෝස්ටර්

      Delete
  8. අන්නේකයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි මේක. අලුතිං ආපු රස එක.

      Delete
  9. තාත්තගේ වෙදකම් නම් මරු ..ඕකට පෙට්‍රල් හරි කසිප්පු හරි ම්වත්කලානම් බඩුම තමයි ..

    මමත් ඔය ඇන්ටනාවක් හදලා තමයි රේඩියෝ ඇහුවේ..මුදුන් වහලේ හයි කරලා තමයි තිබුනේ

    ReplyDelete
    Replies
    1. රෙද්ද නැති කුඩේ ණන ටික විතරක් දිගෑරල හිටින්න ඉත්තෑවෙක් වගේ ඇන්ටනාවලුත් තිවුන ඒ කාලෙ.

      Delete
  10. මාත් ඔය ඇසි දිසි මාධ්‍ය වලට වෙදකං කරන්න ගිහිං අම්මගෙං නොසෑහෙන්න බැනුං අහල තියෙනවා. ඉස්සර ටීවී බැලුවෙ කාර් බැටරියෙන්. බැටරිය ටිකක් බැස්සම ටෝච් එකේ බැටරි ගලවල කාඩ් බෝඩ් කෑල්ලක ඔතල බැටරි කණු උඩින් තියල බලල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම නැතුව බැටරිය උස්සගෙන එන්න තිබ්බනෙ නවමාලි එකට චාජ් කරගන්න. හැක්..

      Delete
    2. බැට්ටි චාජ් කෙරිල්ලත් වෙනම කෝස් එකක්.

      Delete
  11. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දේකුත් නැ... වෙනද වගේමයි... මරු පෝස්ටුව....

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තූතියි නගේ

      Delete
  12. වෙනද වගේ ම රස කථාවක්, මටත් අපේ ගෙදරට මුලින්ම ගෙනාව තනි පිකරේ කසට්ටේක මතක්වුනා,රැපියල් එද්දාස් ගානක් වගේ මතක. තවම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එද්දාස් ගානක් හොයන්න මාස ගානක් යනවනෙ. එහෙම බැලුවහම තනි පීකරේ කැසට් එකක් කියන්නෙ බොහොම ලොකු ගානක්. දැං තියෙන ලොකුම සෙටප්පෙක සාමාන්‍ය කෙනෙක්ගෙ මාසෙ පඩිය වගේ තුංගුණේක මිලට ගන්න පුලුවං.

      Delete
  13. Replies
    1. දැන්නං ටිකක් ඇදිලා.

      Delete
    2. එකට තමයි බ්‍රා වල හුක් ඇන්ඩ් අයි සහ ස්ට්‍රැප් කියලා දෙයක් තියෙන්නේ
      වැල වරකා කරන්න පුලුවන්

      Delete
  14. අපි ඇහිල්ල ටීව්වෙකේ යුගේ..
    ඉතිං රේඩියෝ ඇහිල්ල අම්ම උදේ පිරිත් දාන්ඩ පාඉච්චි කරෝපු බාන්ඩෙ.
    බස්සෙකේදි ඇන්ටං ටොච්චාට් සිංදු තේරිල්ල ඇහුණෙ ඒකෙ.

    ReplyDelete
    Replies
    1. උඩුවා මටත් බාල වගෙයි.

      Delete
  15. අපේ ගෙදරත් තිබුන ඔය කිව්ව ජාතියේ පරණම රේඩියෝ එකක්....තාත්ත දවලට මහා සද්දෙට හින්දි සිංදු දානවා...ලඟින් ළඟ ගෙවල් නොතිබුන නිසා කාටවත් කරදරයක් නම් වුනේ නැහැ...ඉන් පස්සේ මට මතකයි සිරස එෆ් එම් ටෙස්ටින් කරපු කාලේ තිබුනේ කැසට් එක, සමිතාගේ අතුලගේ සින්දු දිගටම ගියා...තාරුකා පෙලින් එහා සින්දුව ඒ කාලේ කට පාඩම්...

    මුවන් පැලැස්ස අහපු නැති කෙනෙක් නම් නැතුව ඇති ඒ කාලේ...වෙනද වගේම රහ පොස්ටුව...

    ReplyDelete
    Replies
    1. මුවන්පැලැස්සෙ ගැමුණු විජේසූරිය තමයි තරුව. ඒ දවස්වල පිනාගෙ කතාවලට ඇත්තටම හිනා යනවනෙ.

      Delete
  16. රේඩියෝ ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් විදිහට මම කින්සිලිට - සිරස ගරු කරනවා

    ReplyDelete
    Replies
    1. අනූ ගනංවල කිංස්ලි රත්නායක කියන්නෙ සම්පූර්ණයෙන්ම සිරස එෆ් එම් තමයි.

      Delete
    2. ගුවන් විදුලි කලාව වෙනස් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ නිමල් ලක්ෂපති ආරච්චිට. කිංස්ලි රත්නායක කියන්නේ ඒ වෙනස ඇතුලේ පළමු ජනප්‍රිය වෙච්චි නිවේදකයා. ඒ එක්කම ප්‍රේමකීර්ති අල්විස්ගේ දුව සුරංගි ද අල්විස් තමයි කිංස්ලි රත්නායක එක්ක උදෑසන වැඩසටහන් මෙහෙයුවේ. , ප්‍රියන්ත විජේසිංහ, කැලුම් ශ්‍රීමාල්, රොෂාන්, වගේ අයත් ඒ පටන්ගැන්මේදී නිවේදකයින් විදිහට වැඩකරපු උදවිය. නිමල් ලක්ෂපති ආරච්චි විසින් ඒ කරපු වෙනස අද වෙද්දී තමුගේ සීමාවන් පහුකරගෙන ගිහින් අන්තෙටම පිරිහිලා. සිරස එෆ් එම් පටන්ගත්තු කාලෙ හවසට ගිය ලොවින් කැදැල්ලට කියන වැඩසටහනට මම හරිම මනාපයි. උදේ වැඩසටහන් අහන්න උනේ සා පෙළ කරලා ගෙදර හිටපු කාලේ විතරයි. හවසට ලොවින් කැදැල්ල නම් අනිවාර්යෙන් අහනවා. දැන් රේඩියෝවේ හවසට යන ටාසන් බාප්පලාගේ ගොන් ජෝක් ඇහෙද්දීනම් රේඩියෝව පොළොවේ ගහන්න හිතෙනවා බන්. අපි ඒ කාලේ වින්දනය කරපු රේඩියෝව අද වෙද්දී පත්වෙලා තියන තත්වේ දැක්කාම හරිම කනගාටුයි.

      Delete
    3. එකගයි මචෝ ...
      උබලා වගේ එවුන් අපි නොදන්න කරුණු මෙහම කියලා දෙනෙක එල ද බ්‍රා

      Delete
    4. ගෝසාවක් නැති සේවයක කියල තියෙන්නෙ ටී ඇන් ඇල් එක තමයි. ඒකෙ සෑහෙන වෙලාවක් දේසපාලනේ කියන එකයි අවුල.

      Delete
  17. මුවන්පැලැස්ස ඉස්සර අපෙත් ජනප්‍රියම රේඩියෝ නාට්‍යයක්. ඊට පස්සේ තමයි තනි පීකරේ, පීකර් දෙකේ කැසට් ආවේ. ටික කාලෙකින් ටූ ඉන් වන්, ත්‍රී ඉන් වගේ වගේ ඒවා ආවා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. අර සිග්නල් ඇඩ් එකකටත් ඇහුවෙ "ඔයාගෙ රේඩිවේක චුයිංගම්මෙකක්ද" කියල? නේද?

      Delete
  18. "යාහුප් බාහුප් කාඋප් යඋප් හෙප් හොප්"

    සීගිරි කුරුටු ගී /ශිලා ලිපි ගැන වැඩ සටහනක්?

    ReplyDelete
    Replies
    1. රේඩිවේක දාන-වහන සුයිච්චෙක අගටයි මුලටයි කරකවද්දි එහෙම තමයි ඇහෙන්නෙ.

      Delete
  19. "පප්පා................ චාලී........................ඉස්සා................ ටැංගෝ"
    Papa Charlie Oscar Tango ?

    ගුරුලේත්තුවෙ දුම්කොල දානවද?

    ReplyDelete
    Replies
    1. මං පහුකාලිනව දැනගත්ත විදිහට ඒකනං නාවික යාත්‍රා අතර පණිවුඩ හුවමාරු කරන විදිහලු.

      අපේගෙදර තිවුන ගුරුලේත්තුවෙ තමයි දුංකලේ දාල තිවුනෙ. ඒකෙ වතුර දැම්මෙ නෑ.

      Delete
    2. Phonetic alphabet.. sounds the letter.. use in radio communication to avoid ambiguity. Ex:MLR SURANGA- mike lima romet space sierra uniform romeo alfa november golf alfa, over!
      Roger, victor mike tango! Over!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මේ ලංකාවෙ ඈත කඳු බොකලමක් අස්සෙ ඉන්න මට ඕක බැට්ටි කෑලි තුනේ රේඩිවේකකිං ඇහුන එකයි පුදුමෙ.

      Delete
    5. Sathiye dawas pahama wada karana welawe wadi hariyak mama pavichchi karanne oya bhashawa thama ban. Magal withara diga serial numbers, part numbers over the phone kiyaddi ganiddi eka akurak waraduna kiyanne pamba galaka pataluna wage thama ithin. Lankawe issara telegram yawaddith post office eke pavichchi kare ohoma bhashawak thamayi.

      Delete
  20. මං අහපු කාලේ මුවන්පැලැස්ස ස්පොන්සර් කළේ ලින්ටන් කමිස සමාගමෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපි ඉපදිලා නෑ. චතුර නං ඉපදිල ඉන්න ඇති.

      Delete
    2. උඹ මේ මොනවා කියනවද? මාර්කෝනි රේඩිවේක හොයාගෙන මුලින්ම චැනල් අල්ලනකොට අහුවෙලා තියෙන්නෙ මුවන්පැලැස්ස S10E01

      Delete
  21. සාමාන්‍ය පෙළ පාස් උනාම මම අම්මගෙන් ඉල්ලගත්තු තෑග්ග තමා මගේ කාමරේට රේඩියෝවක්. අම්ම දුන්නු සල්ලි වලින් පුංචි පැනසොනික් රේඩියෝවක් මම ගත්ත දෙපැත්තෙන් වෙනම බෆල් පෙට්ටි දෙකක් තියෙන. රෙකොර්ඩ් තැටි දාන්න පුළුවන් තඩි ත්‍රී ඉන් වන් එකක් ගෙදර තිබුනත් කාමරේට වෙලා තනියම රේඩියෝව අහන් ඕනෑකම තිබ්බ නිසා තමයි ඒක ගත්තෙ. එදා ඉඳන් රේඩියෝවයි මමයි කියන්නේ වෙනම ෆැමිලි එකක් වගේ. ලයින් අල්ලන්න වෙනම ඒරියල් එකක් වහලේ හයිකරලා වයර් ඇදල තමා එෆ් එම් ලයින් ටික අල්ලාගත්තේ. ඒ රේඩියෝව ක්‍රියාත්මක කරන්න වෙනම ස්විච් එකක් අඳ ගාවටම හයිකරගත්ත වැඩි ලේසියට. සිරස එෆ් එම් පැය විසි හතරේ විකාශනය පටන්ගත්තයින් පස්සේ රේඩියෝව ඕෆ් උනානම් ඒ බොහොම කලාතුරකින් තමයි. අදත් රූපවාහිනියට වඩා මගේ කැමැත්ත රේඩියෝවට තමයි. ඒත් අද වෙද්දී ලංකාවේ අහන්න පුළුවන් නාලිකා නැති තරම්. ෆෝන් එකේ ලංකාවේ රේඩියෝ ඇප් දාගෙන මෙහෙදිත් අහනවා. ඒත් ඉතිං ඉස්සර වගේ අහන් ඉන්න ආස හිතෙන දේවල් නම් ඇහෙන්නෙම නැති තරම්.

    ReplyDelete
    Replies
    1. රන් එෆ් එම් වල පරන සිංදු යනවා නේද
      අපේ ගෙදර ටි වී රේඩියෝ දෙකම නැත

      Delete
    2. අම්බලංගොඩ අයියා ඒකට මං වගේ සමස්ත ඉන්දීය ගුවංවිදුලියෙ සයිට් එකට ගිහිං ඒකෙ තියෙන Raagaa කියන චැනල් එක අහන්න. මං දැං කරන්නෙ ඒ වගේ අහපු නැති බාසාවල් අහන එකයි.

      මෙන්ඩයියාගේ නිවස වටිනා තැනකි.

      Delete
    3. Sindunam kohomahari ahan inna puluwan kiyamuko mendo. Eth DJ la kiyawana baila ahan inna thama amaru.

      Delete
    4. හැබෑට දැං ඉන්නෙ ඩීජේලානෙ නිවේදක නිවේදිකාවො නෙමෙයිනෙ.

      Delete
  22. ෂෝයි අනි. වෙනදා වගේම රසවත් පෝස්ටුවක්. අපිත් ඉස්සර ඇහුවෙ මුවන්පැලැස්ස විතරයි. ආයෙ ළමා රඝමඩල කියලා කතාවක් ගියා කැළුම් විජේසුරිය,මොහොමඩ් ෂප්රාස් ලා හඩ කවන. ඒකත් යාන්තමින් මතකයි.ඒත් මුවන්පැලැස්ස චිත්තරපටියක් ආවම අර මවාලෙන හිටි චිත්ත රූප සුන්නත්දූලි වෙලාම ගියා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මධ්‍යම සංස්කෘතික අරමුදලෙං හැන්දෑවෙ බුදුපාන පත්තු කරන වෙලාවට ලව් නාට්ටියකුත් ගියා මාස ගානෙං ඒක නැවතුනා.

      Delete
  23. මටත් ඉස්සර ඉර බැහැල ගියාට පස්සේ බස්නාහිර පැත්තෙන් වවුල් රංචු අපේ ගමට ඉගිලිලා ආපු හැටි, හවසට ලාම්පු පත්තු කරලා කාමරෙන් කාමරේට තිබ්බ හැටි, තාත්තා ළඟ පෙරළිලා මුවන් පැලැස්ස අහපු හැටි මතක් උනා..

    ReplyDelete
  24. මොකාද බන් දාන ක්මෙන්ට් ගිලින එකා

    ReplyDelete
  25. පොඩි කාලේ මොනර තැන්න මුවන් පැලැස්ස අහපු හැටි මතක් වුණා. ඊට පස්සේ ළමා පිටිය හවසට යන. සෝවියට් දේශයේ ඉන්න කාලේ ලොකු කැසට් සෙට් වල කැසට් හරියට වැඩ කරන්නේ නැති වුනහම වොඩ්කා දාල සුද්ධ කලේ. නියමෙට වැඩ ඊට පස්සේ.

    ReplyDelete
    Replies
    1. අපි පාවිච්චි කලේ කොලොං ගඟේ වතුර. ඕඩි කොලොං කියන්නෙ ඒවට.

      Delete