Follow by Email

Sunday, April 30, 2017

ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3

ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක මිට හරි එහෙමත් නැත්තං පෙති ඉස්කුරුප්පුනිය හරි අර ගෙන ඒ කූරෙ මැද තියෙන පැල්මට රිංගවල කරකැව්ව. අපේ තාත්තට SW-MW මාරුවෙන්න වැදිල හිටපු දවසක කූර වැරදි පැත්තට කරකවන්න ඇති වීරියෙන් පිහිය තලේ කරකැවීම හිංදා පැල්මෙන් දෙකට බෙදිල තිවුන කූරෙ එක තටුවක් කැඩුනා. එයිං පස්සෙ ඒක කරකවන්න පුලුවං උනේ ඉතුරු තටුවෙ අගිං උල් අඬුවෙං අල්ලලා කැරකීමෙං විතරයි. ඒ වෙනකොට ඒරියල් එකෙත් අන්තිම පුරුක් දෙක ගැලවිලා ගොක් අත්ත කපාපු පොල් ගහ වගේ වුනා. අත්බෙහෙත්, ඉංගිරිසි බෙහෙත් කරලා අන්තිමට පිටිපස්සෙ තියෙන තහඩුවෙ තියෙන තඹ පාටිං ඇඳපු පාරවල් ටික හැට්ට කට්ටෙං හූරන කටු චිකිත්සාවත් අහන්නෙ නැති තරමට රේඩිවේක ඇට්ටර උනා. රේඩිවේක “රේඩි කබල“ බවට පත්වුනා.

මේ තියෙන්නෙ කූර - පිංතූරය අලි බබාගෙං


එක දවසක් හැන්දෑවක පුරුදු විදිහටම සරම පැත්තක් හරියක් වගේ උඩට උස්සගෙන බිමට කෙල ගගහ ගුන්තිලක මාමලගෙ වැට මායිමෙං තාත්තා මතුවෙනකං අපි බලාගෙන හිටියා. ඇඳිරි වැටීගෙන එනකොට තාත්තා වැට මායිමෙං මතුවුනා. හැබැයි එදා තාත්තගෙ සරම දෙපැත්තම එකම උසින් කොටුවක් වගේ තිබුණා. බිංදුවට ලැගල ඉන්න පුළුවං තරං දිග පෙට්ටියක් තාත්තගෙ කරේ තිබුණා. වෙනදට කුස්සියෙ දොරකඩට එහායිං තියෙන ගල්ගෙඩිය උඩ කකුල් තියාගෙන කකුලෙ ඉන්න කූඩැල්ලො අරං දාන්න නැවතින තාත්තා එදා කරේ තියෙන පෙට්ටිය අරගෙන කුස්සියෙං ගෙට ඇතුල් උනේ පෙට්ටිය උලුවස්සෙ නොවදින්න කොන්දත් පාත් කරගෙන.

“ඔය මේසෙ උඩ පිහදාං විගහට“

තාත්ත පෙට්ටිය කරේ තියාගෙනම අණ දුන්නා. මං මේසෙ පිහදාන්න කුස්සියෙ තියෙන වලං බාන පාංකඩේ අරං ආවා.

“ඕක නෙමෙයි අර හොඳ රෙද්දකිං පිහාං“

ඒ ගමන අම්මා විගහට රෙදි පෙට්ටිය අවුස්සල පරණ සරොං පලුවක් අරගෙන මේසෙ උඩ තිවුණ වතුර, පොල්තෙල්, විට වට්ටියෙං හැලිච්ච හුණු කුඩු, එහෙ මෙහෙ ගමං ගිය කඩි දෙතුං දෙනෙක් ආදී අඩුම කුඩුම සේරම එක ගොඩට පිහල දැම්මා. තාත්තා පෙට්ටිය මේසෙ උඩිං තියල ටෝච්චෙකත් අරං එලියට බැස්සෙ කකුලෙ කූඩැල්ලො අරං දාන්න.

“මේක මොකජ්ජෑඈ...“

නංගි ඇඳට නැගල මේසෙ උඩට නගින්න හදත්දි තාත්තා මිදුලෙ ඉඳං කෑගැහුවා. 

“ඔහෙ තිහාල්ල ඕක මං එනකං“

අම්මත් හැන්ද අතේ තියාගෙනම ඇහිල්ලා පෙට්ටිය දිහා බැලුවා. ඒ පෙට්ටියෙ පිට පැත්තෙ පීකර දෙකේ කැසට්ටෙකක් ඇඳල තිවුනා. 

“මොකද්දෝයි මේ“

කූඩැල්ලො අරංදාල ගෙට ඇහිල්ලා කමිසෙ ගලෝල රෙදි වනන ලීයෙ දාන තාත්තගෙං අම්ම ඇහුව.

“ඉන්නොවකො වියසල. පෙන්නන්න. තවුසෙ ගිහිං මට කහඩ්ඩිංගක් වක්කොන්නොවකො“

තාත්තට කහට ඩිංගක් වක්කොල්ල දෙන්න අම්ම කුස්සියට ගියා. තාත්තා කහට බීල ඉවර වෙනකං නංගියි මායි ඒ පෙට්ටියෙ තියෙන එක මොකද්ද කියලා හිත හිතා කැරකුනා. අපේ කුතුහලේ උපරිමේට ආවට පස්සෙ තාත්තා මේසෙ උඩ තිවිච්ච පෙට්ටිය අරං ඇඳ උඩිං තිබ්බා.




ඊළඟට ආයිත් සැරෙයක් මේසෙ අස් කෙරුවා. මේසෙ උඩ තිවුනු පරණ බෙහෙත් බෝතල්, කුප්පි, බෙහෙත් කවර, එහෙම කුණුමුල්ලට දාලා මේසෙ උඩිං දෙතුං දෙනෙක්ට ඉඳගන්න තරං ඉඩක් අස්කෙරුවා. ඊළඟට නියපොත්තෙං කොනහල පෙට්ටියෙ පියනට අලෝල තිවුණ ඇලෙන ඉටිකොල කෑල්ලෙ කොන පාදගෙන හීං සැරේ ගැලෙව්වා. ඊළඟට පියං දෙක ඇරල ඒකෙ තිවුන ඉටි කොලයක් දිගෑරියා. ඉටි කොලේ ඇතුලෙං අමුතුම හැඩේ රිජිපෝං කෑලි දෙකකුත් අරං ඇඳේ කොනකිං තිබ්බා. ඊට පස්සෙ

“ඔය පෙට්ටිය අල්ලගනිං“

කියලා පෙට්ටිය අස්සෙං දිග පෙට්ටියක් වගේ එකක් එළියට ඇදල ගත්තා. මගේ කට ඇරුනා. අම්මට “ආ..“ කියවුනා. අම්මගෙ අතේ තිවුණ හැංදෙං හොඳි බිංදුවක් මගෙ කකුලට හැලුනා.

අපේ අහලපහල කිසිම ගෙදරක නොතිබිච්චි තරං ලොකු පීකර දෙකේ කැසට්ටෙකක් තාත්තගෙ අතේ තිවුනා.





“ඔය පෙට්ටියෙ යට තීන රිජිපෝං කෑලි දෙක ගං. ඇරං මේසෙ උඩිං තියහං“

මං පෙට්ටියෙ අඩියෙ තිවිච්ච රිජිපෝං කෑලි දෙක අරං මේසෙ උඩිං තිබ්බා. ඒ දෙක එක එක අතට තියලා බලලා අන්තිමට කැසට්ටෙකේ දෙකොණට ගැලපෙන්න අච්චුව වගේ හයිකරලා පෙරලෙන්නැතුව තියන්න හදාගන්න අපිට පුළුවං උනා. 

කැසට්ටෙකේ මැද තියෙන කෑල්ලක් ඩිංගක් උඩට කරපු ගමං කබරයෙක් පිඹින්නා වගේ මහා “සෝ“ සද්දයක් මතුවුනා.

“හත්තිකේ හොද්ද උතුන්නවද කොහෙද“

හොද්ද උතුරලා ලිප පල්ලෙ හැලිලා ලිප නිවුනා කියල හිතාගෙන අම්ම කුස්සියට දිව්ව. 

“නෑඕයි මේකෙ සද්දෙ ඒ“

තාත්තා පැහැදිලි කරා. ඊළඟට මීටරේ කටුව දුවන පාරෙ පැත්තකට වෙන්න යංතං මතුවෙලා තිවුන රවුං කාලක් කරකවන්න පටං ගත්තා. අර සෝ සද්දෙ අස්සෙං තැනිං තැන

“සෝ.............................හග්..සෝ..............................බග්....සෝ....................“

කියල සේවා අහුවෙන්න ගත්තා. ඒ වුනාට කිසිම සේවයක් මනුස්ස කටහඩක් තේරුංගන්න අහන්න තරං හොඳට අහුවුන්නෑ. ඊළඟට තාත්තා රේඩිවේකෙ උඩු පැත්ත අතගගා හෙව්වා හෙව්වා හෙව්වා .... අන්තිමට 

“බලහං කොල්ලො මේක උඩ ඒරියල්ලෙක තියෙනවද කියල“

කියලා මට කිව්වා. ටෝච්චෙක අල්ලලා බලලා මං ඒරියල් එක හොයාගත්තා. ඊට පස්සෙ ඒක රේඩිවේකට හයිවෙලා තියෙන පැත්ත හොයාගන්න තවත් වෙලාවක් ගියා. අන්තිමට ඒක හරහට තිවුනට ඕන අතකට දිගාරින්න පුලුවං බව රේඩිවේකෙ පෙට්ටියෙ තිවුන පොතේ පිංතූර බලලා පැහැදිලි කරගෙන අපි ඒරියල් කූර දිගෑරියා. පරණ රේඩිවේකෙ ඒරියල් කූරටත් වඩා දිගට දිගෑරියට පස්සෙ ආයිමත් රේඩිවේකෙ සේවා අල්ලන රවුම කැරකෙව්වා. මීටරේ අන්තිම හරියට සේවයක් අහුවුනා. 

“න්නැලවෙන තුම්පත් රෑ නේ...ටනක් ටනක් ටනක්... සිරසයි පාන තියන්නේ“

හරියටම කියතොත් අපේ ගෙදර මේසෙ උඩ ඉඳං ඇත්තම මිනිහෙක් කතා කරන විදිහට පැහැදිලිවට සද්දෙ ඇහුනා. ඒ විතරක් නෙවෙයි වෙනදට වඩා පැහැදිලිව සංගීතෙත් ඇහුනා. අපේ කටවල් ඇරුනා. මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි. ඒ විතරක් නෙමෙයි ඒරියල් කූරක් රේඩිවේකට ඇත්තටම ඕනි කොටහක් කියලා අපි තේරුම් ගත්තෙත් ඒකෙං. 

ඇත්තටම ඒ කැසට්ටෙකේ සේවා අහුවෙන්න ඒරියල්ලෙක නැතුවම බෑ. සිරස අහුවෙන්න නං ඒරියල් එක උඩට දික්කරල තියන්න ඕනි. සවන අහුවෙන්න නං ඒරියල්ලෙක හරහට හරෝල තියන්න ඕනි. ඒරියල්ලෙක කොටකරල තිවුනොත් සෝ සද්දෙ විතරමයි. එයිට අමතර වසයෙන් ඒකට සමහර සේවා අහුවෙන්නෙ අපි ළඟ ඉද්දි විතරයි. අපි ඈතට යද්දි සේවෙ පැහැදිලි නැතිවෙලා යනව. ඒ හිංදා අපි කවුරුහරි රේඩිවේක කිට්ටුවට වෙලා ඉන්න ඕනි. සමහර වෙලාවට කැසට්ටෙක ඉස්සරහිං කවුරුහරි යනකොට සද්දෙ වෙනස් වෙනව. ඒ හංදා අපි ඒකටත් කම්බියක් ඇමුණුවා. වැඩි කාලයක් යන්න කලිං කැසට්ටෙකට ඒරියල්ලෙක නැතුව බැරුව වගේ ඒරියල්ලෙකටත් කම්බිය නැතුව බැරිවුනා. වෙනදට ඒරියල් එකට විතරක් අහුවෙන සේවා සේරමත් කම්බිය නැති උණහම ඉස්ට්‍රයික් කෙරුවා.


බැට්ටියක දැන්වීමක්

අලුත් කැසට්ටෙකට බැට්ටි කෑලි හයක් ඕනි. ඒවත් අලුත්ම ඒව වෙන්න ඕනි. කැසප්පීස්සෙකක දෙපැත්ත අහපු ගමං බැට්ටි සේරම බහිනව. පරණ රේඩිවේක වගේ ටෝච්චෙක අහක දාන ඉඳුල් කන්න මේ අලුත් කැසට්ටෙක කැමති උනේ නෑ. ඒ හංදා අපේ ගෙදර ණය පොතෙත් බැට්ටි කෑලි ගාන වැඩිවෙන්න කලිං තාත්තා බැට්ටියකුත් ගෙනාවා. ඒත් එක්කම කැසට් පීස් කීපෙකුත් අපේ ගෙදරට ආවා. මුලිම්ම ආවෙ කවිබණ කැසට්. සමහර දවස්වලට බීල ඇවිල්ලා රණ්ඩුවෙන්න හේතුවක් නැතුවහම තාත්තා එයිං කැසට් පීස්සෙකක් කැසට්ටෙකට ඔබලා ඒක මුළු ගමටම ඇහෙන්න කෑගැස්සෙව්වා.


“සත්තපුරේ සිරිලක් පැංසියවුස්සායතනයේ කාලීන කවිබණ මාලා අංක දහ හතර මත්පැන් පානයේ ආදීනව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කෙරෙයි. ටංක ටකං දඟර පටං....... බුංංං...“


අපේ ගෙදර කැසට්ටෙක නැන්ද ගෙනා කැසට්ටෙකට වැඩිය ලොකු එකක් හිංදා නැන්දගෙ ලොකුකම බැහැල ගියා. ඒ හංදා මට නැංදලගෙ ගෙදර යන්න තිවුණ තහනමත් නැතිවුනා. තහනම අයිංවෙලා කාලෙකට පස්සෙ මං නැන්දලගෙ ගෙදර ගියේ වෙනිං මොකද්දෝ වැඩකට. ගෙට ඇතුල්වෙන දොරකඩට කෙලිං ඉස්සරහ බිත්තිය අයිනෙ තිවුණ කබඩ්ඩෙක උඩ නැංදගෙ කැසට්ටෙක මල් පෝච්චි, බෝනික්කො වටකරගෙන දොරකඩ දිහා බලාගෙන හිටියා. හැබැයි අපේ කැසට්ටෙකට නැති අමුතු ආරක්සාවක් ඒ කැසට්ටෙකට තිබුණා. ඔව්, ඒ කැසට්ටෙකේ මැදිං දර මිටිය බැන්ද වගේ ටියුබ් පටි කෑල්ලකිං ගැටගහල තිවුනා.

නැන්දගෙ කැසට්ටෙක


ඒ වෙලාවෙත් කැසට් පීස් එකක් ඒක ඇතුලෙ රිංගගෙන කෑගගහ හිටියෙ. කැසට් පීස්සෙකේ සද්දෙට අමතර වසයෙං කැසට්ටෙක අස්සෙං විල්බැරැක්ක රෝදෙයක් කැරකෙනව වගේ සද්දෙකුත් ඇහෙමින් තිබුණා. අපේ තාත්තා අනාවැකි කියපු විදිහටම පියසේන මාමා කැසට්ටෙකට 'මැකෑනිස් වැඩේ' කරල තියෙන බව මට හිතා ගන්න පුළුවං උනා.


කැසට් පීස්සෙකේ එක පැත්තක් ඉවර උනා. අපේ ගෙදර කැසට්ටෙක නං ඒ වෙලාවට 'ටබක්' කියලා නැවතිලා කැසට් පීස්සෙක වැඩකරන සුවිච්චෙක උඩට ඇහිල්ලා සද්දෙ නවතිනවා. ආයි කවුරුවත් ගිහිං දෙවෙනි සුවිච්චෙක ඔබලා දොර ඇරලා පීස්සෙක අරං අනික් පැත්ත දැම්මොත් ඇරෙන්න ඒක වැඩ කරන්නෙ නෑ. හැබැයි නැංදලගෙ කැසට්ටෙක එහෙම උනේ නෑ.


පීස්සකෙ ඉවර උනාට කැසට්ටෙක නවතින්න කැමති උනේ නෑ. නැවතිලා ඉන්න ඇට්ටර පීස්සෙක කරකවන්න කැසට්ටෙක උත්සාහ කලා. තමුංව බලෙං කරකවන්න හදන කැසට්ටෙකට විරුද්දව පීස්සෙක අභ්‍යන්තර සටනක් ආරම්භ කලා. කැසට්ටෙක අස්සෙ වීමෝලක් දැම්ම වගේ "වර වර වර වර වර වර" කියල සද්දෙයක් ආවා. අපි හැමෝම ගල් ගැහිලා බලං හිටියා. තප්පර ගානක සටනකිං පස්සෙ 'දකස්' ගාලා Play සුව්ච්චෙක උඩට පැන්නා. උඩට ආවා නෙවෙයි උඩට පැන්නා. අඩි දෙකක් තරං උඩට විසිවෙච්ච සුවිච්චෙක බිත්තියයි කබඩ්ඩෙකයි අස්සෙං බිමට වැටුනා. ඒත් එක්කම කැසට් එකේ දොරත් 'දහ්' ගාලා ඇරුනා. අනෙක් කැසට්වල දොර ඇරෙන්නෙ ඇඟිලි දෙකක් දාන්න පුළුවං තරම ඉඩක් හිටින්න උනත් මේ කැසට්ටෙකේ දොර ඇරුනෙ ලොරියකට බඩු පටවන්න ඒකෙ පිටිපස්ස දොර අරිනව වගේ හරහටම වැටෙන්න. ඒ වේගෙට කැසට් පීස්සෙක විසිවෙලා සාලෙ මැදක් තරම ගිහිං බිම වැටුනා. උඩිං ආපු මේ අරුම පුදුම බාන්ඩෙ බලන්න හොස්ස දාපු බිංදුවව එලෝපු මම කැසට් පීස්සෙක අහුලගත්තා. නැංදා කොස්සෙං කබඩ්ඩෙක යට අතුගාලා සුවිච්චෙක හොයාගත්තා. ඒත් එක්කම ඉස්කුරුප්පු ඇන දෙක තුනකුත් හම්බවුනා.

"මේ තියෙන්නෙ කැසට්ටෙකේ ඇන ටික. මේක නැතිවෙලානෙ ඊයෙ පීසේන මේක මේ ටියුප්පටියෙං ගැටගැහුවෙ"

නැංදා ඒ ටිකත් අරං කබඩ්ඩෙකේ ලාච්චුවට දාල වැහුවා. 

මීට අවුරුදු දෙකතුනකට කලිං අපේ ගෙදරට ලොකු සෙටප් එකක් ගෙනත් තිබුණා. ඒ හංදා අපේ තාත්තා පරණ කැසට්ටෙක කාඩ්බෝඩ් පෙට්ටියක දාලා මට එව්වා. මං හදපු ඇම්ප් එකේ දෙපැත්තෙ පොඩි පීකර් දෙක විදිහට තාමත් පාවිච්චි වෙන්නෙ ඒ කැසට් එකේ පීකර් දෙක.

ඔය දෙපැත්තෙ තියෙන්නෙ ඒ බපල් දෙක තමා.

*****************************************************************************

බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගිහිං ඔබේ ඡන්දය ලබාදෙන්න. දැනටමත් සොඳුරු අතීතයෙන් බිඳක් පළවෙනි තැන අල්ලලා. දෙවෙනි තැන අටං අයියා අල්ලලා. තුන හතරත් ඒ කිට්ටුවම ඉන්නවා. මගෙත් ලිපි එකක් ඒ ලැයිස්තුවේ තියෙනවා.


බ්ලොග් පෝස්ට් වලට ඡන්දය දෙන්න මෙතැන ඔබන්න. එතැන පහල තියෙන ලිපි ලැයිස්තුවෙන් ඔබ කැමති ලිපි එකේ සිට තුන දක්වා ගණනක් මත ක්ලික් කරලා ලැයිස්තුවට පහලින් ඇති VOTE බොත්තම ඔබන්න. එවිට Facebook, Twitter හෝ G+ අතරින් ඔබ ලියාපදිංචි වී ඇති සමාජ ජාලයක් පාවිච්චි වී ලොග් වන ලෙස ඔබෙන් ඉල්ලනු ඇති. එයින් කැමති සමාජ ජාලය තෝරා ලොග්වන්න. ඔබේ ඡන්දය පාවිච්චි කිරීම අවසන් වනු ඇත.



57 comments:

  1. පීකරේ හරි.
    දැංයේකෙ උඩ බ්ලොග් සම්මාන තියල තියෙන්නෙ සද්දෙ පැහැදිලිව ඇහෙනහින්දද?

    ReplyDelete
    Replies
    1. ඒ දෙක උඩිං තිබ්බම පිටරට චැනල් හිටං කනගාව තිවුව වගේ ඇහෙනවලු.

      Delete
    2. ඔය පෙංසුයි කරන කෙනෙක් කිව්වෙ සද්ද ඇහෙන භාණ්ඩ උඩිං පිත්තල තියන්න කියලා. ඒ හංදා අපේ ගෙදර උන්දෑ ඔලුවටත් පිත්තල තහඩුවක් අල්ලපු තොප්පියක් දාල තියෙන්නෙ.

      Delete
  2. හිනස්සල මරන්න එපා යකෝ.
    අර අන්තිම ටික කියොවන්න තුං හතරපාරක්ම හිනාව නවතිනකල් කෙටි විරාම ගන්න උනා.

    ReplyDelete
    Replies
    1. අරක්කු සුට්ටක් බීලා හුස්මක් අල්ලලා ඉන්ඩ

      Delete
    2. අරක්කු සුට්ටක් බොන්නෙ කොහොමෙයි, හැමතිස්සෙම මල පෙරේතයෙක් බලං ඉන්නවා කියලා කඩේ ඉස්සරහ තිබ්බ බාර් එක වහලම දැම්මා..

      Delete
  3. බලාගෙන ගියාම උඹලැයි ගමේ ඉඳපු වැඩි හරියක් දක්ෂ රේඩියෝ තාක්ෂණවේදියො වගෙයි. බලහංකො පිටරටිං බාගෙට හදල සෙමි ඔටෝමැටික් එවපු නැන්දයි කැසට් එක පීසේන මාම ‍ෆුලි ඔටෝමැටික් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියෙ බඩු දෙකක් හිටියා අපේ ගමේ

      Delete
  4. අපේ ගෙදරත් ඔය ජාතියෙ ස්පීකර් දෙක ගලවන්න පුලුවන් පැනසොනික් එකක් තාම තියෙනව. හැබැයි ඒකෙ ස්පීකර දෙක අයින් කරල තියෙන්නෙ. ඊට පස්සෙ ගෙනාපු සෙටප් එකට මකබාස් වැඩේ කරන්න ගිහිල්ල කෙල උනාට පස්සෙ කැසට් එකේ මදේ ජපං ඈම්ප් එකක් සහ සෙටප් එකේ බපල් දෙක එකට මාට්ටු කරල තෙමුහුං ගැජට් එකකින් තමයි රේඩියෝ අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕකට ඇන්ටනාවෙ වෑර්රෙකත් ඇමුණුයනං හතර මුහුං

      Delete
  5. ඔය සිරිලක් පැන්සි හවුස් එකේ ඒ කාලෙ ජනප්‍රියටම තිබුණෙ විරුඳු බණ කැසට්. ඒකේ විරිඳු කිවුව එම්.වී. ගුණදාස අංකල් තාමත් සිරසෙ ඉරිද උදේට විරිඳු කියනව.

    ReplyDelete
    Replies
    1. දැං ඉන්නේ පොටෑටෝ ඉන්ද වෝටර් නේද?

      Delete
  6. //මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි.//

    ඇඬෙනව.

    ReplyDelete
  7. ස්ටීරියෝ හින්දා ස්පීකර් දෙකයි, සම්මාන දෙකට ගැලපෙන්න.

    අර 5.1 වැනල් සරවුන්ඩ් සවුන්ඩ් සෙට් එකක් ගන්න අදහසක් නැද්ද දැන් බ්ලොග් වසන්තයත් එන එකේ!

    ReplyDelete
    Replies
    1. බැරිවෙයි. අර දොස්තර මහත්තෙයයි අටං අයියයි දැන්ටම එක දෙක අරං තියෙන්නෙ.

      Delete
  8. විස්තරේ චිත්ත රුප මැවෙන විධියට හරි අනු පිළිවෙලට ලියලා තියෙනවා. රත්නපුරේ ඔය තරම් කුඩැල්ලෝ හිටියේ කොයි හරියේද? ඔය පරණ කැසට් කබල තවමත් තියෙනවාද?

    ඔබට ජයම

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කූඩැල්ලො නැත්තෙ ලුණු පොල්කට්ටෙ විතරයි.

      කැසට්ටෙක තවම තියෙනව.

      Delete
  9. මරු මරු !
    ඉස්සර සිරසෙ ජිංගල් වල අමුතු ගතියක් තිබ්බා ගොඩක් ඒවා තාමත් මතකයි

    ReplyDelete
  10. තරඟය උග්‍ර වෙනවා. තව ප්‍රචාරක උපක්‍රම යොදාගන්න වෙයි වගේ . මගේ පොස්ට් තුනක්ම තියෙන නිසා දැන් නම් මනාපයක් වත් දෙන්න කියන්න බෑනෙ.මුලදි මගේ මනාපෙකුත් සුරන්ගට දුන්නා.

    ReplyDelete
    Replies
    1. මං ෆයිට් කරන්නේ තුංවෙනිය වෙන්න. සොඳුරු අතීතයයි අටම් පහුරයි 1, 2 වෙලා ඉවරයි .

      හෙට අනිද්දා විදේශ බලවේග කිපයක් අල්ලන්න ඕනෑ.

      Delete
    2. අනේ බොලව් මං තමයි එක වෙන්නේ

      Delete
    3. පොල්ගෑමේ තරඟෙ වෙන්ටැ

      Delete
    4. කවිඳු උඩට ආවද ? ශ්‍රංග ග ගේම වැරැද්ද එක එක පෝස්ටර් හදල දුන්නට

      Delete
    5. අජිත් මහතා, මං පලවෙනියා උනොත් ලැබෙන තෑග්ගෙන් මං මට ප්‍රයෝජනයක් ගනියි. හැබැයි කවිඳු මහතා පලවෙනියා උනොත් ඒ තෑග්ගට ලැබෙන මුදලත් යන්නෙ ලංකාවෙ කවුරු හරි අසරණ වෙච්ච කෙනෙක්ට යහපතක් කරන පිං අතේ වැඩකට. ඒ හංදා එතුමා පලවෙනියා වෙන එක වටිනවා.

      Delete
    6. මෙන්නෝ චන්දයට බලපෑම් කරනෝ. වහාම චන්ද මධ්‍යස්ථානයට වාර්තා කරන්න ඕනේ.
      එක්කෙනාට එක චන්දෙද තියෙන්නේ?

      Delete
    7. දැං අජිත් මහතාට ඡන්ද 4ක් දාන්න පුලුවං. තමුන්ගෙ චන්දෙ, බිරිඳගෙ ඡන්දෙ, පොඩි අය දෙන්නගෙ ඡන්ද දෙක. ආයි පෝන් එකේ සල්ලි ඇත්නං මාමණ්ඩිටයි නැන්දම්මටයි මස්සිනාල නෑනලටයි කියලත් ඡන්ද දම්මන්න පුලුවං. චන්ද බලය අසීමිතයි කියන්නෙ ඒකයි.

      Delete
  11. මැවිලා පේනවා ඒ අස්සේ හිනාව නතර කරගත්තේ බොහොම අමාරුවෙන්

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ඕක නාහෙං පයින්න පුලුවං

      Delete
  12. අපේ ගෙදර තිබිච්ච පරණ නැෂනල් කළුසුදු ටීවී එකේ චැනල් මාරු කරෙත් කටර් අඬුවෙං අල්ලලා
    මට මතකයි අපේ ගෙදෙට්ට ගෙනාපු කැසට් ප්ලේයර් එක ඩබල් ඩෙක් එකක්. ඒකෙ එක ඩෙක් එකකට පීස් එකක් දාලා අනිකෙන් රෙකෝඩ් කෙරුවැකි. ඒක සුනාමියට යනකම්ම අපේ ගෙදර තිබුණා

    ReplyDelete
    Replies
    1. උඹේ කමරාවෙත් පොටෝ අල්ලන්නේ අඬුවෙන් නේ ඉතිං. කැමරා හොම්බා

      Delete
    2. මං හිතන්නෙ ඒ වැඩේට කියන්නේ දේශීයකරණය කියලා. ඉංගිරිසියෙන් Localization.

      Delete
    3. අඩෝ ලව්පූසා... ඊළඟ නෙළුම් යායෙදි නං උඹේ අඬුව කඩනවා...

      Delete
  13. අපේ ගෙදෙට්ටත් ඉස්සෙලම ගෙනාවේ ඕවයින් එකක්, එක දැන් වැඩ කරන්නේ නෑ ,එත් තාත්තා එක විසිකරන්නේ නෑ. සුද්ද කරලා පිහදාලා අරං තියං ඉන්නවා.

    අර නැන්දලාගේ කැටස් එක නිකං හිරෝෂිමාවට පරමාණු බොම්බේ දැම්ම වගේනේ බං

    මොනවා වුනත් "මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි" මේ කෑල්ල නං හරිම සංවේදියි

    ReplyDelete
    Replies
    1. පියසේන මාමගෙ මැකෑනිස් කම කියන්න වෙනම පෝස්ට් ගානක් ලියන්න ඕනැ.

      ඒ කොටහ ඒ තරං සංවේදී වෙයි කියල මං හිතුවෙ නෑ.

      Delete
  14. යකෝ ඔය ඒරියල් එකට කම්බි ගැට නොගහ 176CM වගේ තියෙන ඇන්ටනා බට දෙකක් අරන් දාහංකො ආයෙ චැනල් ටික තිතට අහුවෙනව.

    ReplyDelete
    Replies
    1. ඒරියල්ලෙක කැඩිච්ච කාලෙ ඇලමේනියං බටයක් තමයි හයිකොලේ.

      Delete
  15. අපේ ගෙදරටත් ඉස්සෙල්ලාම ගෙනාවේ ඔය වගේ එකක් තමයි.... මරු පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. මෙව්වා තාමත් ගන්න තියෙනවා. එහෙම තැනකිං තමා මේ පොටෝ ටික ඉස්සුාවත්

      Delete
  16. අපේ ගෙදරට කලු සුදු අඟල් 12 ටී.වී.එක ගෙනාපු දවසෙත් මේ වගේ තමයි බං

    ReplyDelete
    Replies
    1. ගොඩයන්ට මැජික් කියලා කියන්නෙ මෙව්වා වෙන්නැති.

      Delete
  17. අපේ ගෙදර තිබ්බා තනි ස්පීකරේ ස්ටීරියෝ කැසට් එකක් හැක්

    ඹබගේ වටිනා ඡන්දය මැරතන්.. ඉදිරියේ සලකුණු කර විදානයා වන මා බ්ලෙග් වසන්තයා කරමු..

    (ආසනේට ඇවිත් පහර දෙන්නේ මෙහෙමයි)

    ReplyDelete
    Replies
    1. විදානේ බ්ලොග් වසන්තයා කිරීමෙන් ඔබට රැවුලත් කැඳත් දෙකම නැතිවේ.

      Delete
  18. "මං ඉපදුනාට පස්සෙ අපේ ගෙදර හතරදෙනාම එකට හිනාවුනේ එදා තමයි" ඒක නම් දුක හිතෙන කතාවක්. වෝට් කලා. සුරං අපිට.......... අපි සුරංට.......ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඡන්ද ගාන දෙක තුනකිං ඉහල ගිහිං තියෙන බව පේන්න තියෙනවා. බොහොම ඉස්තූතියි. දිනුවොත් ඔපිස්සෙකේ හැවෝටම මගෙ ගානෙ පාටියක්.

      Delete
  19. ඔය කැටස් එක සුපිරි.ගස්ලබ්බලයි එක තාම හොඳට වැඩ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බාට දෙන්නට තුති පිදීමක් තිබේ. කලණසිරි කාර්යබහුල වනවිට ඒ තැන ගන්නට පුළුවන් මට්ටමේ අයෙක් විදිහට ගල්හබු පැලයක් පැලවී ඇත.

      Delete
  20. සත්තු- සිවුපාවෝ කුරුල්ලෝ කූඩැල්ලෝ කෘමියෝ ගැනත් පෝස්ට් ලියන්නකො

    ReplyDelete
  21. මෙව්වනේ යකෝ රේඩියො කියන්නෙ..!
    අපේ ගෙදර විදුලි උපකරණ ගැන මා කතා නොකරමි. ;)

    සුරංගයියාට ජයවේවා!
    සුරංගයියාට ජයවේවා!
    සුරංගයියාට ජයවේවා!
    සුරංගයියාට ජයවේවා!
    සුරංගයියාට ජයවේවා!
    සුරංගයියාට ජයවේවා!

    (ඕං අයියෙ රු.5 වැඩ කරා....)

    ReplyDelete
  22. උඹලෑ මැකෑනිස් මාමාව හොයා ගන්න බැරිවෙයිද පරණ සේඩිවෙකක් තියෙනවා රෙපෙයාර් කර ගන්න.. අන්න වැඩ්ඩො.. :))

    ReplyDelete
  23. මරු කතාව. දැන් මේකටත් චන්දයක් දාන්නද

    ReplyDelete
  24. හැම පුංචි ෙදයක්ම අමතක ෙනාකර ලියලා! :)

    ReplyDelete